Family

දික්කසාදය ලබා ගැනීමට අදාළ හේතු!

Lexelon5 min read
Lexelon blog image


මෙරට සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත ට අනුව විවාහ වූ තැනැත්තන් සඳහා වෛවාහක සහන ලෙස දික්කසාදය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා හේතු තුනක් පමණක් මුල් කර ගැනීමට සිදුවේ. එම හේතු තුන නම්,

  1. විවාහයෙන් පසු අනාචාරය.
  2. විවාහ වන අවස්ථාවේ සිට පැවති ලිංගික බෙලහීනතාවය.
  3. ද්වේෂ සහගත අතහැර යාම.

සාමාන්‍ය නීතිය යටතේ විවාහ වූ කිසිවෙකුට වෙනත් කිසිදු හේතුවක් මත දික්කසාද වීමට තවමත් නීතිමය ප්‍රතිපාදන නොමැත.

විවාහයෙන් පසු  අනාචාරය

විවාහයක් තුළ වන අනාචාරය පිළිබඳව මෙරට සමාජය තුළ විධිමත් දැනුවත්භාවයක් නොමැති බව පෙනී යයි. මෙහිදී දික්කසාදය පිණිස හේතු වනුයේ හුදෙක් අනාචාරය නොව 'විවාහයෙන් පසු' අනාචාරයේ හැසිරෙන ලද බවයි. එම නිසා විවාහයට පෙර අනාචාරී හැසිරීම් දික්කසාදය කෙරෙහි බල නොපාන බව පෙනී යයි.

අනාචාරය ලෙස හඳුන්වනු ලබන්නේ විවාහයෙන් පරිබාහිර පුද්ගලයෙකු සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම වේ. ඒ සඳහා ලිංගික සම්බන්ධයක් සඳහා ප්‍රවේශ වූ බව ඉතා ඉහළ ඔප්පු කිරීමේ භාරයක් සහිතව ඔප්පු කිරීම අත්‍යවශ්‍ය වේ. එයින් අදහස් වන්නේ ඉතා පැහැදිලි සාක්ෂි සහිතව අනාචාරය ඔප්පු කළ යුතු බවයි. ඒ අනුව අනාචාරයේ හැසිරෙන පාර්ශවය සමඟ හුදෙක් කතාබහ කරමින් සිටීම හෝ ආහාර ගනිමින් සිටීම අනාචාරය හැටියට සැලකිය නොහැකිය. එසේම අනාචාරයේ හැසිරෙන ලද්දේ කවර තැනැත්තෙකු ද යන්න දක්වා ඔහු හෝ ඇය ද විත්තිකරුවකු ලෙස දික්කසාද නඩුවට එක් කර ගත යුතු වේ.

අනාචාරය ඔප්පු කිරීම සඳහා ඡායාරූප, පටිගත කිරීම්, පොලීසිය සමග ගොස් අනාචාරය සිදුවන අවස්ථාව වැටලීම ආදිය මගින් සාක්ෂි ලබා ගත හැකිය. සමහර අවස්ථාවලදී දරුවන් සම්බන්ධව කරන DNA පරීක්ෂණ වල ප්‍රතිඵල අනාචාරය සම්බන්ධ සාක්ෂියක් විය හැකිය. ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන හෝ දරුවන් හට උපත ලබා දිය නොහැකි බවට වෛද්‍යමය වශයෙන් සහතික කරන ලද තැනැත්තෙකුගේ බිරිඳට දරුවකු පිළිසිඳ ගැනීම ද අනාචාරයට සාක්ෂියක් වන බව පෙනේ. එහිදී සම විත්තිකරු සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය විය හැකිය.

විවාහය තුළ වෛවාහික වරදක් සහ දික්කසාදයට හේතුවක් ලෙස සැලකුනද, නීතිමය වශයෙන් අනාචාරය යනු නීතියෙන් වළක්වා ඇති දෙයක් නොවේ. එසේම එය මෙරටදී අපරාධයක් ලෙස ද නොසැලකේ. මිනිසුන් වශයෙන් ඇතිවන හැඟීම් කෙරෙහි නීතිමය බාධා ඇති කිරීමට මෙරට නීතිය කටයුතු කර නැත. නමුත් සමහර රටවල අනාචාරය දඬුවම් ලැබිය හැකි වරදක් විය හැකි බව සිහි තබා ගත යුතුය.

විවාහ වන අවස්ථාවේ සිට පැවති ලිංගික බෙලහීනතාව

මෙහිදී වැදගත් වන්නේ ලිංගික බෙලහීනතාව විවාහ වන අවස්ථාවේ සිට පැවතිය යුතු බවයි.

ඒ අනුව පසු කාලීනව ඇති වන ලිංගික බෙලහීනතාව දික්කසාදයට හේතුවක් ලෙස නොසලකනු ඇත. විවාහවන අවස්ථාවේ සිට ලිංගික බෙලහීනතාවය පැවති බව ඔප්පු කිරීම සඳහා විවාහ වූ අවස්ථාවේ සිට ලිංගික සම්බන්ධතාවක් පවත්වා නොමැති බවට සාක්ෂි ලබා දීමට සිදුවනු ඇත. සමහර අවස්ථාවලදී බිරිඳ තවමත් කන්‍යාභාවය සහිත බවට ඔප්පු කිරීමෙන් මේ බව තහවුරු කළ හැකි වුවත් කන්‍යාභාවය ස්ථිර සාක්ෂියක් නොවන බැවින් වෛද්‍ය විශේෂඥ සාක්ෂි යොදාගැනීමේ හැකියාවක් ඇත.

කෙසේ වුවත් පවතින ලිංගික බෙලහීනතාවය සුවකළ නොහැකි මට්ටමේ තිබිය යුතුය. සුව කළ හැකි තත්ත්වයක් නම් එය දික්කසාදයට හේතුවක් ලෙස නොසලකනු ඇත. නමුත් එම තත්ත්වය සුවකර ගැනීමට අදාළ තැනැත්තා අකමැති නම් එය දික්කසාදයට හේතුවක් කරගත හැකිය.

බොහෝවිට මේ පුරුෂ පාර්ශ්වය කෙරෙහි පමණක් බලපාන තත්ත්වයක් ලෙස බොහෝ දෙනා සිතිය හැකි වුවත් කාන්තාවන් සඳහා ද ලිංගික බෙලහීනතාවය ක්‍රිරියාත්මක වේ. විශේෂයෙන්ම වැජිනිස්මස් (vaginismus) රෝගී තත්ත්වය සහිත කාන්තාවන් ලිංගික සම්බන්ධතා පැවැත්වීම සඳහා ප්‍රතිරෝධයක් දක්වයි. එය සලකා බලා අධිකරණය විසින් දික්කසාදය ලබා දුන් අවස්ථාවන් අපට හමුවේ. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව සමහර වැජිනිස්මස් තත්ත්ව කායික සහ මානසික ප්‍රතිකාර මගින් සුව කළ හැකි තත්ත්වයේ ඒවාය. ඒ ඒ තැනැත්තාට අදාල මූල්‍යමය තත්ත්වය මත ද වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව රඳා පවතියි. කෙසේ නමුත් මෙම ශාරීරික තත්ත්වයන් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කිරීමෙන් විවාහ වන අවස්ථාවේ සිට පැවති ලිංගික බෙලහීනතාවය ඔප්පු කළ හැකි වනු ඇත.

සමහරෙක්, ලිංගික බෙලහීනතාව යන්න දරුවන් සෑදීමට ඇති නොහැකියාව ලෙස වරදවා වටහාගෙන සිටින අවස්ථා සිටිති. දරුවන් නොමැතිවීම හෝ දරුවන් සෑදීමට ඇති නොහැකියාව දික්කසාදයට හේතුවක් ලෙස නොසැලකේ. නමුත් විවාහ වන අවස්ථාවේ සිට ලිංගික බෙලහීනතාවයක් නොපැවති බවට සාක්ෂි පිණිස දරුවකු සිටීම යොදා ගැනීමේ හැකියාව ඇත.

මෙම හේතුව මත දික්කසාදය පිරිනැමීමට කටයුතු කර ඇත්තේ විවාහයක වෛවාහක වගකීමක් ලෙස ලිංගික සම්බන්ධතා පැවැත්වීම සැලකෙන බැවිනි. එවැනි සම්බන්ධතාවක් පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම වෛවාහක වගකීමක් පැහැර හැරීමක් බඳුය. නමුත් සමහර විවාහ බන්ධන වෙනත් ලිංගික නොවන වටිනාකම් මත රැඳී ඇත. කෙසේ වුවද බලහත්කාරයෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වීම නීතිමය වශයෙන් වරදක් වේ. එම නිසා මෙය පුද්ගලිකත්වය මත පදනම් වූ සංවේදී මාතෘකාවක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ අනුව මෙය දික්කසාදයට හේතුවක් කරගැනීමට පෙර වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබා ගැනීම සුදුසු බව පෙනී යයි.

ද්වේශ සහගත අතහැර යාම

ද්වේශ සහගත අතහැර යාම යනුවෙන් අදහස් කර සිටින්නේ, විවාහයක් තුළ ස්වාමි පුරුෂයා හෝ බිරිඳ විසින්, විවාහය අවසන් කිරීමේ අරමුණ ( animus ) ඇතිව නිවසෙන් පිටව යාම යි. මෙහිදී නිවසින් පිටව යාමේ අරමුණ අවසානාත්මක වීම ඉතා වැදගත්ය. තව දුරටත් සලකා බැලීමේදී ද්වේශ සහගත අතහැර යාමෙහි ශාරීරික හා මානසික අංගය ලෙස කොටස් දෙකක් වෙයි. ඒ අනුව විවාහය අවසන් කිරීමේ අරමුණ මානසික අංගය ලෙස හැඳින්විය හැකි අතර එකී අරමුණෙන් පිටව යාම ශාරීරික අංගය ලෙස පෙන්වා දිය හැකිය. ඒ අනුව ද්වේශ සහගත අතහැර යාම ඔප්පු කිරීම පිණිස එකී කාරණා ද්විත්වය ම ඔප්පු කිරීම අනිවාර්යය වේ.

ඉහත කරුණු අනුව පෙනී යන්නේ යම් තැනැත්තෙක් හෝ තැනැත්තියක් තාවකාලිකව නිවසෙන් පිටව යාම ද්වේශ සහගත අතහැර යාම ලෙස සැලකිය නොහැකි බව යි. සමහර අවස්ථාවලදී විවාහක යුවළ තාවකාලිකව ගැටුම් නිරාකරණය වනතුරු වෙන්ව ජීවත්වන බව පෙනේ. මෙම අවස්ථාවකදී දෙපාර්ශවයෙන් එක් අයෙකුගේ හෝ විවාහය අවසන් කිරීමේ බලාපොරොත්තුවක් නොමැති නම් ඒ ද්වේශ සහගත හැරයාම ලෙස ගත නොහැකි ය.

තවත් බොහෝ අවස්ථාවලදී වරද සිදුකරන පාර්ශවය නොව අනෙක් අහිංසක පාර්ශවයට නිවසෙන් පිටව යාමට සිදුවන්නේ තාඩන පීඩන ඉවසා දරාගැනීමට නොහැකි නිසාය. එවැනි අවස්ථාවකදී එම අතහැර යාම අනුමිත ද්වේශ සහගත අතහැරයාම ලෙස හැඳින්වේ. මෙහිදී සිදුවන්නේ, විවාහය අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන්, වෛවාහක නිවස අතහැර යන ලද පාර්ශවය විසින් දික්කසාද නඩුවක් පැවරීම යි.

ඒ අනුව පෙනී යන වැදගත් කරුණක් වන්නේ, යම් කිසි තැනැත්තෙකු ද්වේශ සහගතව සිය විවාහක බිරිඳ හෝ සැමියා හැර ගොස්, ඔහු හෝ ඇය විසින්ම දික්කසාද නඩුවක් පැවරීමට ඇති නොහැකියාවයි. මීට හේතුව වන්නේ, යම් වරදක් කරන ලද තැනැත්තෙකුට එම වරද තුළින් ලාභයක් ලැබීමට නීතියෙහි අවස්ථාවක් නොමැති වීමයි. එසේම යමෙක් අධිකරනයෙන් සහනයක් බලාපොරොත්තු වීම සඳහා පිරිසිදු දෑතින් පැමිණිය යුතු බවට නීති සංකල්පයක් වෙයි. ( doctrine of clean hands) ඒ අනුව දික්කසාද නඩුවක පැමිණිලිකරුවෙකු හෝ පැමිණිලිකාරියක විය හැක්කේ වරද නොකරන ලද පාර්ශවයට ය.

Related Articles