කාන්තාවක හෝ දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් වූ විට?
යම් ලිංගික අපයෝජනයකට ලක් වූ අයකු පොලිස් ස්ථානය වෙත යන අවස්ථාවේදී ගේට්ටුව අසල සිටින පොලිස් නිලධාරියාගේ සිට සෑම පොලිස් නිලධාරියාට ම සිදුවීම පිළිබඳව පැවසීමට අවශ්‍යතාවයක් නැත. මෙවැනි තත්ත්වයකදී කෙලින්ම ආසන්නතම පොලීසියේ කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරිනියන් හමුවී පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇත. සමහර කුඩා පොලිස් ස්ථාන වල එවැනි අංශ තිබීමට හෝ නොතිබීමට පුළුවන. එවිට ඒ සඳහා කටයුතු කරන පොලිස් නිලධාරී වෙත පමණක් පැමිණිල්ල ඉදිරිපත් කර ප්‍රකාශයක් සටහන් කිරීමේ හැකියාවක් ඇත.
විශේෂයෙන්ම දරුවන් ලිංගික අපයෝජනයට ලක්වී ඇති අවස්ථාවලදී ( ගැහැනු දරුවන් හෝ පිරිමි දරුවන් ) ඔවුන්ගේ ප්‍රකාශ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පටිගත කර ඉදිරි විමර්ශන සහ අධිකරණ කටයුතුවලට යොදා ගැනීමේ ක්‍රමවේදයක් ඇත. ඒ අනුව ඔවුන්ට නැවත නැවත සිද්ධිය මතක් කරමින් ප්‍රකාශ ලබා දීමට අවශ්‍යතාවයක් පැන නොනඟියි. එසේම මෙම කරුණු විමර්ශනය කරන කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරිනියන් නිරන්තරයෙන් පුහුණුවට ලක් කරනු ලැබේ. එමනිසා ඔවුන් දරුවන්ගේ සිත් නොතැලෙන ආකාරයට කතා කිරීමට කටයුතු කරනු ඇත. වෙනත් ඕනෑම අවස්ථාවක මෙන් එසේ නොකරන සුළු පිරිසක් ද සිටීමේ හැකියාවක් තිබේ.
කෙසේ වෙතත් අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත සිදුවීම ලඝු වශයෙන් විස්තර කිරීමේ අවශ්‍යතාවයක් ඇති අතර ඔවුහු මේ පිළිබඳව මනා පුහුණුව ලැබූවෝ වෙති. එම නිසා වින්දිතයන් හිංසනයට ලක් වන ආකාරයෙන් තොරතුරු විමසීමක් ඔවුන් අතින් සිදු නොවන අතර කලාතුරකින් ඊට ප්‍රතිවිරුද්ධ ලෙස කටයුතු කරන නිලධාරියෙකු දෙදෙනකු සිටිය හැකිය.
ළමා ආරක්ෂණ අධිකාරිය ද පොලීසිය හා සමගාමීව ළමා අපයෝජන වැළැක්වීම සඳහා කටයුතු කරන ආයතනයක් වන අතර වීඩියෝ සාක්ෂි පටිගත කිරීම ආදියට පසුබිම සකසා දී ඇත. දරුවන්ට සමීපව කටයුතු කිරීම ඔවුන්ගේ ප්‍රතිපත්තියක් වන අතර අදාළ සිද්ධියේ වරද අපයෝජනය වූ දරුවාගේ වන ලෙස හැඟවෙන ආකාරයෙන් තොරතුරු විමසීම ඔවුන් අතින් සිදු නොවන ලෙස කටයුතු යොදා ඇත.
අධිකරණයේදී පැමිණිලිකාර පාර්ශවය ලෙස පොලිසිය හෝ රජයේ නීතිඥවරයා කටයුතු කරන බැවින් අගතියට පත් පාර්ශවය ලෙස නීතිඥවරයෙකු මගින් ඉදිරිපත් වීම අත්‍යවශ්‍ය නොවේ. එසේ නීතිඥවරයෙකු මගින් අධිකරණයේ පෙනී සිටීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා ද ඉඩකඩ ඇති අතර බොහෝ විට මෙවැනි සිද්ධීන් පිළිබඳව නීතිඥවරුන් දුක්ගැනවිලි විමසන ස්වරූපයෙන් ඇහුම්කන් දෙනු ලැබේ. ඔවුන්ගේ අරමුණ වින්දිතයා වූ තම සේවාදායකයා වෙත උපරිම සහනය සලසා දීමයි. යම් නීතිඥවරයකු ඉහත සඳහන් පරිදි පරුෂ ආකාරයෙන් සේවාදායකයා සමඟ කටයුතු කරයි නම් වෙනත් සුදුසු නීතිඥ වරයෙකු වෙත යාම සුදුසු වේ.
අධිකරණයේ දී මූලික ප්‍රශ්න සහ හරස් ප්‍රශ්න විමසීමේ දී සිද්ධිය විස්තර කිරීමට සිදුවන අතර එවැනි අවස්ථාවල විනිසුරුතුමා විසින් චූදිත, වින්දිත තැනැත්තිය සහ නඩුවට අදාළ නීතිඥවරුන් හැර අනෙක් පිරිස අධිකරණ ශාලාවෙන් ඉවත් කිරීමට සාමාන්‍යයෙන් කටයුතු කරනු ලැබේ. එවැනි අවස්ථාවලදී නොබියව සිදු වූ සියල්ල පිළිබඳ ආත්ම විශ්වාසයකින් යුතුව පිළිතුරු දීමට සිතට ගත යුතුය.
වැඩිහිටි ස්ත්‍රීන් ලිංගික අපයෝජන වලට ලක්වූ අවස්ථා වලදී පොලීසියට සහ අධිකරණයට මදක් සැලකිල්ලෙන් කටයුතු කිරීමට සිදුවේ. එයට හේතු වී ඇත්තේ සමහර අවස්ථාවලදී බොරු චෝදනා ඉදිරිපත් කිරීම ද දක්නට ලැබෙන නිසාවෙනි. එම නිසා නිවැරදිකරුවෙකු නීතියෙන් දඬුවම් ලැබීම වළක්වනු පිණිස යම්තාක් දුරකට ප්‍රශ්න කිරීමට සිදුවේ.
මූලික ප්‍රශ්න සහ හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව නැවත සිද්ධිය විස්තර කිරීමට අවශ්‍යතාවක් නොමැත. විශේෂයෙන්ම විභාග වූ නඩුවක අවසාන නඩු වාරයේ තීන්දුව ලබාදීමට පෙර යමෙක් ප්‍රකාශයක් කරනවා නම් ඒ චූදිත තැනැත්තා සහ නීතිඥවරුන් වේ. තීන්දුවට පෙර වින්දිත තැනැත්තිය ගෙන් ප්‍රකාශ ලබාගැනීමක් අපරාධ නඩු කාර්ය පටිපාටියට අයත් නොවේ.
කෙසේ වුවත් මතකයේ තබා ගත යුතු කරුණක් වන්නේ වයස අවුරුදු 16ට අඩු තැනැත්තියක් සමඟ එම තැනැත්තියගේ කැමැත්ත ඇතිව වුව සංසර්ගයේ යෙදීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය ගණයට අයත් වේ. එම නිසා පෙම් සබඳතා පවත්වාගෙන යන තරුණ තරුණියන් කල්පනාකාරී විය යුත්තේ හැඟීම් පාලනය කර නොගැනීමෙන් අනවශ්‍ය ගැබ් ගැනීම් පමණක් නොව අපරාධ වරදකට ද හසු විය හැකි නිසාවෙනි. ඒ අනුව සුදුසු වයසේදී ලිංගික අධ්‍යාපනය හා නෛතික පසුබිම පිළිබඳ දරුවන් දැනුවත් කිරීම වැදගත් වේ.
තත්ත්වය එසේ තිබියදී, සැබැවින්ම වරද ඇත්තේ නෛතික ක්‍රියාවලිය තුළ ද නැතිනම් සමාජය ආකල්ප තුළ ද යන්න සලකාබැලිය යුතුය. ඉහත සඳහන් වැනි අදහස් සමාජ මාධ්‍යයේ පළ වන විට නීතියේ අසාධාරණය පිළිබඳ හඬ නගන බොහෝ දෙනා ම යම් කාන්තාවකගේ සුළු වරදක් දුටු විට හෝ ස්වභාවිකව උරුම වී ඇති ශරීරය අරභයා පහත් අදහස් දක්වන ආකාරය දැකගත හැකි වේ. තවත් අවස්ථාවක දී ඔවුනට අනුව ලිංගික අපයෝජන වලට හේතුව කාන්තාවන්ගේ හෝ දරුවන්ගේ ඇඳුම් විලාසිතාවේ. කෙසේ නමුත් මිනිසුන් ලෙස අප විසින් දැනගත යුතු කරුණ වන්නේ ලොව ස්වභාවිකව ලිංග භේදය පවතින බවත් ඔවුන් හට වෙනස් අවයව පවතින බවත් අතිශය සාමාන්‍ය කරුණු බවය. ඒවා යම් ආකාරයකින් නිරාවරණය වීමක් සිදු වුව ද එයින් ඒ තැනැත්තා හෝ තැනැත්තිය ලිංගික අපයෝජනයට ලක් කිරීමේ අවසරයක් නොලැබේ. තමාට සමීප කාන්තාවන් හා දරුවන් හැර අන් සියලු දෙනා 'මාගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට ඇති උපකරණ' ලෙස දැකීම නවතාලිය යුතුය.
අවසාන වශයෙන් යම් තැනැත්තකු ලිංගික අපයෝජනයට ලක් වූ විට වරද තමාගේ නොවන බැවින් අධිෂ්ඨානශීලීව වරදකරුට දඬුවම් ලබාදීමට සහායවීමට සිතට ගත යුතු වේ.. එසේ නොකරන තාක් දුරට දූෂකයන් නිදැල්ලේ කටයුතු කරනු ඇත. සමාජය අනෙකුත් අයද සිදුකළ යුත්තේ නෛතික ක්‍රියාවලියට සහාය වීම මිස එහි පිහිට පතන්නට ඉදිරිපත් වන තැනැත්තන් අධෛර්යමත් කිරීම නොවේ. නෛතික ක්‍රියාවලිය සාධනීය ලෙස වෙනස් විය යුතු ආකාරයක් ඇත්නම් එය යෝජනාවලියක් ලෙස ඉදිරිපත් කිරීමට සමාජයේ වගකිව යුතු පුරවැසියන් ලෙස ඕනෑම අයෙකුට අයිතියක් තිබේ.
