CivilFamily

හැමෝටම උඩරට විවාහයක් කරගන්න බැරි ඇයි ?

Lexelon2 min read
Lexelon blog image

උඩරට ප්‍රදේශ යැයි සම්මත ප්‍රදේශ වල පදිංචි උඩරට සිංහල ලෙස සැලකෙන ජනතාවට උඩරට විවාහ හා දික්කසාද පනත යටතේ විවාහ වීමේ හැකියාවක් තිබේ.

මෙම විවාහයේ ඇති විශේෂත්වය වන්නේ:

  1. උඩරට පාර්ශව අතර පමණක් විවාහය සිදු කිරීමට ඇති හැකියාව
  2. උඩරට ප්‍රදේශවල පමණක් ලියා පදිංචි කළ හැකි වීම
  3. විවාහය වලංගු ලෙස සැලකීමට ලියාපදිංචි කිරීම අනිවාර්ය වීම
  4. උඩරට විවාහ ලේකම්වරුන් විසින් ලියාපදිංචිය සිදු කිරීම

මෙම ලියාපදිංචි කිරීමේ කාර්යය පටිපාටිය සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ පටිපාටියට සමාන වන අතර විවාහය දැනුම් දීමට පෙර විවාහයේ එක් පාර්ශවයක් හෝ අවම වශයෙන් දින 4ක කාලයක් උඩරට ප්‍රදේශවල වාසය කර තිබිය යුතුය.

උඩරට විවාහ දීග සහ බින්න ලෙස දෙවර්ගයක් වේ.

  • ස්වාමියාගේ නිවසට බිරිඳ කැඳවාගෙන ඒම දීග විවාහයක ස්වභාවයයි.
  • සැමියා විසින් බිරිඳගේ නිවසේ පදිංචියට යාම බින්න විවාහයක් ලෙස සලකයි.

මෙම විවාහ ස්වභාවය මත දේපළ උරුම වීම වෙනස් වන නිසා එය වෙන්කර හඳුනාගැනීම වැදගත් වේ. එම නිසා විවාහ ලේකම්වරයා විසින් ඒ බව විවාහ සහතිකය තුළ ඇතුළත් කරනු ලබන අතර විශේෂයෙන් සඳහන් කර නොමැති අවස්ථාවලදී දීග විවාහයක් බවට උපකල්පනය කරනු ලබයි.

විවාහයක් බල රහිත වීමට හේතු

  1. පාර්ශ්වකරුවන් විවාහ විය හැකි වයසට වඩා අඩු වයසකින් යුතු වීම
  2. තහනම් ඥාති සම්බන්ධතා වලින් යුක්ත වීම
  3. මුල් විවාහය පවතිද්දී ම තවත් විවාහයක් කරගැනීම

තහනම් ඥාති සම්බන්ධතා වලින් යුතු විවාහයක් යනු දෙමව්පියන් සහ දරුවන් හෝ සහෝදර සහෝදරියන් අතර සිදුවන විවාහයන්ය.

උඩරට විවාහයක් දික්කසාද කිරීමට හේතු

  1. විවාහයෙන් පසු භාර්යාවගේ අනාචාරය
  2. ව්‍යාභිචාරය හෝ දැඩි කෲර භාවය සමඟ සිදු වූ ස්වාමිපුරුෂයාගේ අනාචාරය
  3. භාර්යාව විසින් වසර දෙකක් තිස්සේ අඛණ්ඩව හා පූර්ණ වශයෙන් ස්වාමිපුරුෂයා අතහැර යාම
  4. ස්වාමිපුරුෂයා විසින් වසර දෙකක් තිස්සේ අඛණ්ඩව හා පූර්ණ වශයෙන් භාර්යාව අතහැර යාම
  5. සතුටින් ජීවත් වීමට නොහැකි වීම – එක් වසරක් සහවාසයෙන් ඇත්ත වශයෙන් වෙන්ව සිටීම
  6. අන්‍යොන්‍ය කැමැත්ත

මෙය වැදගත් වන්නේ සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ විවාහ වූ තැනැත්තන්ට දික්කසාද වීමට ඇති බාධා උඩරට විවාහ නීතිය යටතේ විවාහ වූ තැනැත්තන්ට නොමැති වීමයි.

අනාචාරය වැනි හේතු නොමැතිව අන්‍යෝන්‍ය කැමැත්ත මත පවා දික්කසාද වීමේ හැකියාවක් පවතී.

එසේම උඩරට නීතිය යටතේ දික්කසාද කාර්ය පටිපාටිය සංකීර්ණ නොවන අතර වියදම් අධික නොවන ක්‍රමයකි. දිස්ත්‍රික් විවාහ ලේකම්වරයා වෙත අයදුම් කිරීමෙන් දික්කසාදයක් ලබා ගැනීමට සාමාන්‍ය හැකියාවක් ඇත. යම් ගැටළුකාරී තත්ත්වයක් උද්ගත වුවහොත් පමණක් දිසා අධිකරණයට යොමු කරනු ලැබේ.

Related Articles