අපහාස නඩු ගැන දැනගනිමු!

සිවිල් නීතියේ එන අපහාස නඩු හෙවත් පෞරුෂත්වයට හානි කිරීමේ නඩු සඳහා ඇත්තේ රෝම ලන්දේසි නීතිය වැනි පොදු නීති මූලයන් වේ. ඒ ගැන තව දුරටත් විමසා බලමු.
මූලික වශයෙන් අපහසු නඩුවකදී, තම කීර්තියට හානි කරවමින් විත්තිකරු හෝ විත්තිකරුවන් විසින් ප්‍රකාශ කරන ලද වචන, ඒ ආකාරයටම අධිකරණයට ඉදිරිපත් කිරීම කළ යුතු වේ. එලෙස අපහාස කරන ලද භාෂාව අධිකරණයේ භාෂාව නොවන විට දිවුරුම් දෙන ලද භාෂා පරිවර්තකවරයෙකු විසින් කරන ලද පරිවර්තනයක් අධිකරණයට ගොනු කිරීම අත්‍යවශ්‍යය.
අපහාස නඩුවක් ඔප්පු කිරීමේදී තමන් හට යහපත් කීර්ති නාමයක් තිබූ බවත්, විත්තිකරු විසින් අපහාසාත්මක ප්‍රකාශයක් ප්‍රසිද්ධ කරන ලද බවත්, එය මහජනතාව හෝ සමාජය තුළ යම් පිරිසක් පිළිගත් බවත්, ඒ අනුව තමාගේ කීර්තිනාමයට හානි වූ බවත්, එම නිසා තමන්ට බලවත් චිත්ත පීඩාවක් ඇති වූ බවටත් අධිකරණයට ඔප්පු කළ යුතුය.
යම් ප්‍රකාශයක් අපහාසකරු සහ අපහාසයට ලක් වූ තැනැත්තා අතර පමණක් හුවමාරු වූ අවස්ථාවක කීර්තියට හානි වූ බව ප්‍රකාශ කළ නොහැකි වේ. ඒ පොදුවේ සමාජයේ ඔහුට ඇති කීර්තිනාමයට එයින් හානි නොවන නිසාය.
කරන ලද ප්‍රකාශය අතිශය සත්‍යයක් බව හෝ වරප්‍රසාද තෘප්ත කරන ආකාරයෙන් කළ ප්‍රකාශයක් බව හෝ, කරුණක් ලෙස නොව අදහසක් ලෙස පැවසූ බව හෝ කීර්ති හානි නඩුවක විත්තිවාචකය (විත්තිකරුගේ නිදහසට කරුණු) විය හැකිය.
එනම් මා විසින් කරන ලද ප්‍රකාශය කීර්ති හානි කිරීමේ අටියෙන් පවසන ලද මුසාවක් නොවන බවත්, සද්භාවයෙන් ප්‍රකාශ කරන කරන ලද සත්‍යයක් බවත් අධිකරණයට ඒත්තු ගැන්විය යුතුය. මක්නිසාද යත්, කීර්ති හානියට හේතු වන්නේ, අසද්භාවයෙන් කරන ලද අසත්‍ය ප්‍රකාශ බවට පිළිගන්නා නිසාවෙනි.
නොඑසේනම් පාර්ලිමේන්තු විවාදයක් අතරතුර හෝ අධිකරණ ක්‍රියාවලියක් තුළදී හෝ වෙනත් එවැනි අවසරයක් සහිත අවස්ථාවකදී ලද වරප්‍රසාදයක් ලෙස එම ප්‍රකාශය කළ බව ඔප්පු කළ හැකිය. ඒ එවැනි අවස්ථා වලදී කරන ලද ප්‍රකාශයන් කීර්ති හානි සිදු කිරීම සඳහා කෙරෙන ප්‍රකාශ ලෙස නොසළකන බැවිනි.
තමාගේ අදහසක් ලෙස යම් කරුණක් පැවසූ බව සමහර අවස්ථාවලදී විත්තිවාචකයක් ලෙස සාර්ථක විය හැකිය. නමුත් එය ශක්තිමත් විත්තිවාචකයක් නොවේ. '' මට හිතෙන්නෙ සිරිපාල ඔය වාහනය ගන්න ඇත්තේ මත්ද්‍රව්‍ය විකුණලා වෙන්න ඕන" යන ප්‍රකාශය ගත් කල්හි, ඒ හුදෙක් අදහසක් ලෙස පමණක් ප්‍රකාශ කළ බවත් සැබැවින්ම කරුණක් ලෙස ඉදිරිපත් නොකළ බවත් කියා සිටීමේ හැකියාවක් ඇත. මෙහිදී 'මට හිතෙන්නෙ' 'මම හිතන විදියට' ආදී වූ වචන පැවසී තිබීම වැදගත් වේ.
මීට අමතරව සිද්ධිමය කරුණු වලට අදාළ වන ලෙස විත්තිවාචික ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇත.
