සැමියා/ බිරිඳ අකමැති නම් දික්කසාද වෙන්න බැරිද?
පවුල් සම්බන්ධ ආරවුල් වලට මැදිවී දික්කසාද වීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන බොහෝ දෙනෙකු සිය සැමියාගේ හෝ බිරිඳගේ අකමැත්ත නිසා දික්කසාද වීමේ හැකියාවක් නොමැති බව සිතමින් අන්තරායකාර විවාහ ජීවිතයක් ගත කරන බව පෙනේ.
"එයා මට දික්කසාදය දෙන්නෙ නෑ කිව්වා"
"දික්කසාද කොළේ අත්සන් කරන්නේ නෑ කිව්වා"
"එයා මොනවා කළත් මම එයාට දික්කසාදය දෙන්නෙ නෑ"
ඉහත ප්‍රකාශ සලකා බැලීමේදී පෙනී යන්නේ විවාහය කෙතරම් සුලභ දෙයක් වුවද විවාහය සම්බන්ධ නෛතික වටපිටාව හෝ දික්කසාදය පිළිබඳව සමස්ත සමාජයේම දැනුමෙහි ඇති අඩුපාඩුවයි. මෙම කරුණු පිළිබඳ දැනුම්වත් විවාහ දිවියට එළඹෙන්නේ නම් සමහර ගැටලු වළක්වා ගැනීමේ හැකියාව ද තිබෙන්නට ඇති බව පෙනී යයි.
ඒ අනුව දැඩි ලෙස සිතට ගත යුතු කාරණයක් නම්, සාමාන්‍ය විවාහ නීතිය තුල දික්කසාද විය යුතු වන්නේ අධිකරණ නියෝගයක් හරහා වේ. දික්කසාදය ලබා දෙන්නේ ද නො දෙන්නේද යන්න තීරනය කරනු යේ විනිසුරුතුමා විසිනි. නඩු විභාගයේදී දික්කසාදයට පක්ෂව හෝ විරුද්ධව කරුණු දැක්වීමේ හැකියාව සැමියාට හා බිරිඳට පවතී.
එම නිසා දික්කසාදය ලබා දීම සඳහා සැමියාට හෝ බිරිඳට බලයක් නොමැත. යම් හෙයකින් දික්කසාද වෙනවනම් ඒ සඳහා නීතියෙන් නියම කර ඇති හේතු තුනක් පමණක් ඇති අතර අන්‍යොන්‍ය කැමැත්ත මත දික්කසාද වීම තවමත් අප රටෙහි සාමාන්‍ය විවාහ නීතිය මගින් පිළිගෙන නොමැත. එම කරුණු තුන නම්,
- විවාහයෙන් පසු අනාචාරය ( වැඩි ඔප්පු කිරීමේ භාරය කින් ඔප්පු කළ යුතුය)
- විවාහ වන අවස්ථාවේ සිට පැවති ලිංගික බෙලහීනතාවය
- ද්වේශ සහගත හැරයාම
අනෙක් අතට දික්කසාද වීම සඳහා නඩු කාර්ය පටිපාටිය තරමක් කල් ගතවන ක්‍රියාවලියකි. දවසින් දෙකෙන් විවාහ වනවා මෙන්, දික්කසාද වීම දවසින් දෙකෙන් තබා මාසයකින්වත් අවසන් කළ නොහැකි ක්‍රියාවලියකි. එය නඩු කටයුත්තකි.
එසේ නොමැතිව ලේඛනයක අත්සන් කොට විවාහ වුවත්,
- එම විවාහ ලේඛනය කටු ගෑමෙන් හෝ,
- දික්කසාදය සඳහා වන ලේඛනයකට අත්සන් කිරීමෙන් හෝ,
- දික්කසාදය ලබාදෙන බවට වන ලිපියකින්
දික්කසාද වීමේ හැකියාවක් නොමැත. එසේම නීතිමය වශයෙන් නඩු කටයුත්තක් මාර්ගයෙන් දික්කසාදයක් ලබා නොගෙන එකිනෙකාගෙන් වෙන්වී වෙනම ජීවත් වීම දික්කසාදයක් ලෙස නොසැලකේ.
