CivilProperty and LandFamily

මහගෙදර පවුලේ බාලයාට ද?

Lexelon2 min read
Lexelon blog image

මෙරට ජනතාව අතර පවතින දුර්මතයක් වන්නේ දෙමාපියන් සමග වාසය කළ ගෙදර එනම් මහගෙදර පවුලේ බාලයා වන පිරිමි දරුවාට හිමි වන බවයි. මේ නිසා සහෝදර සහෝදරියන් අතර ගැටුම් ඇති වනු ද බහුලව දක්නට ලැබේ. නමුත් සැබෑ තත්ත්වය වනුයේ දෙමව්පියන් හට පාරම්පරිකව හෝ අත්පත් කරගන්නා ලද දේපල අවශ්‍ය නම් කිසිදු දරුවකුට ලබා නොදී වෙනත් පාර්ශවයකට ලබා දීමට නීත්‍යානුකූල අයිතියක් ඇත. එනම්, යමෙකු ජීවත්ව සිටියදී තෑගි ඔප්පු හෝ විකුනුම්කර මගින් වෙනත් පාර්ශවයකට පවරනු ලැබුවේ නැතිනම් අන්තිම කැමති පත්‍රයක් මගින් දේපල පැවරීමේ හැකියාවක් ඇත. අන්තිම කැමති පත්‍රයක් මගින් දරුවන්ට, භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට එසේත් නොමැති නම් වෙනත් තුන්වන පාර්ශ්වයකට දේපල පැවරීමේ හැකියාව ඇත. යම් හෙයකින් එලෙස ද දේපල පවරනු නොලැබුවහොත් ඒ ඒ තැනැත්තා අයත් වන පුද්ගල නීති තත්වය අනුව, දේපළ උරුමකරුවන්ට උරුම වීම සිදුවේ.

උඩරට නීතිය, තේසවලමේ සහ මුස්ලිම් නීති අදාල වන තැනැත්තන්ට ඒ ඒ නීතිය අනුව දේපළ බෙදී යන අතර, සාමාන්‍ය පොදු නීතියේ දී මියගිය තැනැත්තාගේ භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට දේපළවලින් හරි අඩක් ද ඉතිරි භාගයෙන් සමාන කොටස් දරුවන්ටද උරුම වේ. ස්වාමිපුරුෂයා හෝ භාර්යාව ජීවත් ව නොසිටින විට එකී දේපල ප්‍රමාණය ද දරුවන් වෙත සමානව උරුම වේ. දරුවන් නොමැති නම් එම දේපළ කොටස දෙමව්පියන්ටත්, දෙමාපියන් ද මිය ගොස් සිටින විට සහෝදර සහෝදරියන් අතර සමානව බෙදී යයි.

මෙසේ දේපළ බෙදී යාමේදී සාමාන්‍ය පොදු නීති අනුව ස්ත්‍රී පුරුෂ භාවය හෝ බාල වැඩි මහලු බව අදාළ නොවේ. නමුත් උඩරට නීතියේ දී දීග සහ බින්න විවාහ ස්වභාවය අනුව දරුවන් අතර දේපළ බෙදී යාම මදක් වෙනස් වේ.

කෙසේ වුවද පර්චස් හයක ඉඩමක් පියාගෙන් හෝ මවගෙන් උරුම වී ඇති අවස්ථාවක දී දරුවන් 6 දෙනෙකු අතර එකී ඉඩම බෙදා ගත හැක්කේ කෙසේද යන්න සලකා බලමු. ඉඩම භෞතිකව බෙදීමට ගිය හොත් එක් අයෙකුට එක් පර්චසය බැගින් හිමි වන අතර ඒ කිසිවෙකුටත් ප්‍රයෝජනවත් නොවිය හැකිය. එම ඉඩම විකුණා ලැබෙන මුදල් සමානව බෙදාගත හැකි අතර එසේ නොවන විට ඉඩමේ වටිනාකම හයෙන් බෙදීමෙන් ලැබෙන අගය ඒ ඒ සහෝදරයාට ලබාදී එක් සහෝදරයෙකුට ඉඩමේ භුක්තිය ලබා ගත හැකිය.

මේ අනුව පෙනී යන්නේ මහගෙදර පවුලේ බාලයාට උරුම විය යුතු බවට හා දෙමව්පියන් ජීවත්ව සිටියදී පවා එය බාලයාට පැවරීමට බැඳී සිටින බව හුදෙක් ප්‍රවාදයක් පමණක් වන බවයි.

Lexelon

Lexelon

Lexelon is a legal platform that makes Sri Lankan law easy to understand for the general public and businesses.