Family

මුස්ලිම් දික්කසාද නීතිය!

Lexelon5 min read
Lexelon blog image
මුස්ලිම් නීතියේ දික්කසාදය සුවිශේෂී කරුණු රාශියකින් සමන්විත වේ. උඩරට හෝ සාමාන්‍ය පොදු නීතියට වෙනස් ස්වභාවයක් මෙහි දක්නට ලැබේ. මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත මේ සම්බන්ධයෙන් අදාළ වේ.

මූලික වශයෙන් මුස්ලිම් දික්කසාදය වර්ග තුනකට වෙන් කළ හැකිය

  1. දෙපාර්ශ්වයේ කැමැත්ත මත වන මුබාරත් දික්කසාදය
  2. ස්වාමිපුරුෂයා විසින් දික්කසාද කිරීම
  3. භාර්යාව විසින් දික්කසාද කිරීම

✓දෙපාර්ශ්වයේ කැමැත්ත මත වන ‘ මුබාරත් ‘ දික්කසාදය,

මේ දෙපාර්ශවයේ අන්‍යොන්‍ය කැමැත්ත මත සිදු වන නිසා අවලංගු කළ නොහැකි වේ. එසේම කිසිවෙකුට වන්දියක් ගෙවීමට ද සිදු නොවේ.තමන් අදාළ වන නිකායේ නීති අදාළ කර ගැනීමේ ප්‍රතිපාදනය මත මුස්ලිම්වරයෙකුට මුබාරත් කසාදය ලබාගත හැකිය.

✓ස්වාමිපුරුෂයා විසින් දික්කසාද කිරීම (තලක් ),

තලාක් යනු ස්වාමිපුරුෂයා විසින් භාර්යාවගේ කැමැත්ත තබා ගැනීමෙන් තොරව සිදුකරනු ලබන දික්කසාදයකි.වෙනත් දික්කසාද මෙන් නොව මෙහිදී දික්කසාදයට හේතු දැක්වීම අනවශ්‍ය ය. අවලංගු කළ හැකි තලාක් සහ අවලංගු කළ නොහැකි ‘තලක්’ ලෙස එහි ප්‍රභේද දක්නට ලැබේ. මෙහිදී ‘ තලක් ‘ ලෙස තෙවරක් පැවසීමෙන් දික්කසාදය සිදු වූ ලෙස සැලකේ. එකවරම තුන්වරක් හෝ මාස තුනක් තුළ තෙවතාවක් තලක් ප්‍රකාශ කළ හැකිය.

මෙම දික්කසාද උපචාර වලදී භාර්යාවගේ මාසික ආර්තවය සහ දෙපාර්ශවය අතර ලිංගික සම්බන්ධතා වැදගත් වේ. ඒ අනුව මෙම තලාක් ප්‍රකාශ කිරීම සිදුකළ යුත්තේ ‘ ටූර් ‘ හෙවත් භාර්යාවගේ මාසික ආර්තවය සිදු නොවන හා ස්වාමිපුරුෂයා සමඟ ලිංගික සම්බන්ධතා නොපවත්වනු ලැබූ කාලය තුලදීය. අවලංගු කළ හැකි තලක් දික්කසාදයේදී මාස තුනකට පසු එය අවලංගු කළ නොහැකි තත්වයකට පත්වේ. ඒ අතර කාලය තුළදී වැඩිහිටියන් සහ පූජකවරුන් දෙපාර්ශවය සමගි කරවීමට කටයුතු කළ යුතුය.

✓භාර්යාව විසින් දික්කසාද කිරීම

මෙහිදී ‘ ෆාසා ‘ සහ ‘ කුලා ‘ ලෙස දික්කසාද දෙවර්ගයක් වේ. ‘ ෆාසා ‘ දික්කසාදය ලබාගත හැකි වන්නේ පුරුෂයාගේ කෲර වධහිංසා පහරදීම් ආදිය හෝ අනාචාරය, නිසි ලෙස නඩත්තු නොකිරීම ආදී හේතු ඉදිරිපත් කිරීම මත වේ. ලාදුරු රෝගය, උන්මන්තකභාවය, ලිංගික බෙලහීනතාව වැනි තත්ත්ව ද මේ සඳහා හේතුවක් කරගත හැකි බව පිළිගැනේ. කුලා දික්කසාදයේ දී විවාහය තුළ දෙවියන් විසින් නියම කරන ලද සීමාවන් තුළ භාර්යාවට සිටිය නොහැකි අවස්ථාවකදී පුරුෂයා සමඟ විවාහයෙන් නිදහස් වීම සඳහා වන්දි මුදලක් ගෙවීමෙන් දික්කසාද විය හැකිය. සාමාන්‍යයෙන් මුස්ලිම් විවාහයකදි ස්වාමිපුරුෂයා විසින් භාර්යාවගේ දෙමාපියන්ට ‘ මහර් ‘ නම් දෑවැද්දක් ගෙවිය යුතු වේ. කූලා දික්කසාදයේ දී භාර්යාව විසින් ස්වාමිපුරුෂයාට ඔහු විසින් ගෙවන ලද ‘මහර්’ වලට වඩා වැඩි මුදලක් ගෙවිය යුතු ලෙස සැලකේ. කෙසේ නමුත් ‘කුලා’ දික්කසාදයට ස්වාමි පුරුෂයාගේ කැමැත්ත අවශ්‍ය වන බව මෙරට අධිකරණය තීරණය කර ඇති බව සඳහන් වේ.

මෙම ලිපියට ඇතුලත් විය යුතු තවත් කරුණු ඇත්නම් කාරුණිකව සඳහන් කරන්න.

Related Articles