PoliceGovernance

පොලීසියෙන් දෙන 'ඒ' වාර්තාව සහ 'බී' වාර්තාව කියන්නේ මොකක්ද?

Lexelon2 min read
Lexelon blog image

පොලීසිය විසින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් පිළිබඳ විමර්ශනයක් පවත්වා එකී විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා දැනුවත් කිරීමට යොදාගනු ලබන විධිමත් වාර්තා වර්ග දෙකක් වේ. ඒවා නම් 'ඒ' වාර්තාව සහ 'බී' වාර්තාවයි. මෙම වාර්තා දෙවර්ගය සඳහා වෙන වෙනම ආකෘති පොලීසිය වෙත නිර්දේශ කර ඇත.ඒ ගැන තව දුරටත් විමසා බලමු.

'ඒ' වාර්තාවෙන් ඉටුවන කාර්යයන් අතර හදිසි මරණයක් මහේස්ත්‍රාත් උසාවියට වාර්තා කිරීම, අත්අඩංගුවට ගත් සැකකරුවකු නිදහස් කිරීම, අයිතිකරුවෙකු නොමැති භාණ්ඩය ක් ඉදිරිපත් කිරීම, යමෙකුගේ ස්වාමිත්වය තිබී සොයාගත් පීඩාකාරී ආයුධ උසාවියට ඉදිරිපත් කිරීම, වරෙන්තුවක් නොමැතිව යම් ස්ථානයක් සෝදිසි කිරීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම, සෝදිසි වරෙන්තුවක් ලබා ගැනීම, ආරක්ෂාව අවශ්‍ය දරුවකු පිළිබඳව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීම, සිහිවිකල පුද්ගලයකු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීම පෙන්වා දිය හැකියි.

'බී' වාර්තාවෙන් ඉටුවන කාර්යයන් වන්නේ පොලිස් විමර්ශනය සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවකු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම, සැකකරුවකුට එරෙහිව සිදු කරන්නා වූ විමර්ශන පිළිබඳ ප්‍රගතිය වාර්තා කිරීම වේ.

මේ වාර්තාවේ අඩංගු විය යුතු කරුණු අතර අදාල අධිකරණයේ නම, නඩු අංකය, බල අපරාධ ලේඛනයේ අනුක්‍රමික අංකය, 'බී' වාර්තාවේ අනුක්‍රමික අංකය, දිනය හා සිද්ධිමය කරුණු, සාක්ෂි සාරාංශය, චූදිතගේ නම හා ලිපිනය, චූදිතගේ සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවල සාරාංශ, චූදිත ඇප පිට නිදහස් කර ඇත්නම් ඇපකරුගේ නම හා ලිපිනය, මීට අමතරව ලේඛණගත සාක්ෂි ඇත්නම් ඒ පිළිබඳ ලැයිස්තුවක්, නඩු භාණ්ඩ ඇත්නම් නඩු භාණ්ඩ ලැයිස්තුවක්, රැඳවුම් නියෝග මත රඳවා සිටින චූදිතයෙක් නම් රැඳවුම් නියෝගයේ පිටපතක් වෙයි. එහි ස්ථානාධිපති ගේ අත්සන සහ නිලය සඳහන් විය යුතුය.

ඒ අනුව බොහෝවිට අපරාධ වරදක් සඳහා ඔබට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදු වුවහොත් පොලීසිය ඔබට විරුද්ධව 'බී' වාර්තාවක් ඉදිරිපත් කිරීමේ වැඩි නැඹුරුතාවයක් පවතී. එබැවින් අධිකරණ කටයුතු සඳහා සහභාගි වීමේදී 'බී' වාර්තා පිළිබඳ දැනුවත් වී තිබීම වැදගත් වේ. එවිට විමර්ශණයෙන් තමා පිළිබඳව කවරාකාරයේ කරුණු අනාවරණය කර ගෙන ඇත්දැයි දැන ගැනීමට හැකියාවක් ලැබේ. එය නීතීඥවරයෙකු මගින් කටයුතු කිරීමේදී ද වැදගත් වනු ඇත.

Lexelon

Lexelon

Lexelon is a legal platform that makes Sri Lankan law easy to understand for the general public and businesses.