CivilProperty and Land

අවුරුදු 10ක් වෙනත් අයෙකුගේ ඉඩමක හිටියොත් එය අයිති වෙනවද?

Lexelon2 min read
Lexelon blog image


මහපොළොව සැමදෙනාටම හිමි ය. නමුත් මිනිසුන් විසින් ඉඩකඩම් බෙදා වෙන්කරගෙන ඒවා තමන්ට හිමි බවට ආඩම්බර වෙති. කෙසේ වෙතත් නීතියේ යම් යම් අංග තුළින් ඉඩකඩම් එක් අයෙකුට පමණක් හිමි වී තිබීම වැළැක්වෙන පරිදි සකස් වී තිබේ. මහජනයා අතර ප්‍රකට මතයක් වන්නේ වසර දහයක් වෙනත් අයෙකුගේ ඉඩමක සිටියේ නම් එම ඉඩම තමන්ට හිමි කරගත හැකි බවයි. මෙහි සත්‍ය අසත්‍යතාව කුමක්ද? සැබවින්ම යම් පිටස්තර තැනැත්තකුගේ ඉඩමක වසර 10ක් අඛණ්ඩව, හිමිකරුගේ අයිතියට ප්‍රතිවිරුද්ධව රැඳී සිටියේ නම්, යම් නීති කෘත්‍යයකදී කාලාවරෝධයෙන් එහි රැඳී සිටීමට අයිතියක් ඇතිබවට ''අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමේ හැකියාවක්'' ලැබේ. නමුත් එසේ රැඳී සිටීම නිසා පමණක් ඉඩමේ හිමිකම රැඳී සිටි තැනැත්තාට නොලැබේ. එසේ කාලාවරෝධයෙන් (වසර දහයක් ඇවෑමෙන්) එහි රැඳී සිටීමට අයිතියක් ඇතිබවට අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමට නම්, එම රැඳී සිටීම,

  1. අඛණ්ඩව වසර දහයක් ඉඩමේ රැඳී සිටිය යුතුයි. යම් හෙයකින් වසර දහය සම්පූර්ණ වීමට පෙර, ඉඩමින් ඉවත්ව නැවත ඉඩමට පැමිණියේ නම්, වසර දහය නැවත පැමිණි දිනයේ සිට ගණනය කළ යුතු වේ.
  2. ඉඩමේ රැඳී සිටිය යුත්තේ ඉඩමේ හිමිකරුගේ අයිතියට ප්‍රති විරුද්ධව ය. එනම් හිමිකරුගේ අයිතිය පිළිගනිමින් ඉඩමේ රැඳී සිටිය විට මෙම නීති තත්වයේ බලපෑමක් නැත.

එසේම, ඉඩමේ හිමිකරු ඉවත් වන ලෙස පැවසූ විට, එපරිදි ඉවත් නොවී සිටීම ප්‍රතිවිරුද්ධව රැඳී සිටීම යනුවෙන් අදහස් වේ. යම් හෙයකින්, ඒ සඳහා ආරවුල් ඇති වූ බව හෙළි වේ නම්, එය ප්‍රතිවිරුද්ධ ලෙස රැඳී සිටීමට පක්ෂ වන සාක්ෂියක් විය හැකිය.



මෙසේ අන් අයගේ ඉඩම් වලට පැමිණ පදිංචි වීම අයිතිකරුගේම අනුමැතිය මත කුලී පදනමින් හෝ, අයිතිකරුගේ අවසරයකින් තොරව විය හැකිය. එවැනි අවස්ථාවකදී හැකි ඉක්මනින් නෛතික ක්‍රියාමාර්ග වලට එළඹීමෙන් අනවශ්‍ය කරදර සහ දේපළ අහිමි වීම වළක්වා ගත හැකිය.



කෙසේ වුවද ඉඩම් සම්බන්ධ ගනුදෙනු වල දී වංචා වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධාන අනුව,(එනම් නොතාරිස්වරයකු ඉදිරියේ සාක්ෂිකරුවන් සහිතව) කටයුතු කර තිබීම පසුව එන අපහසුතා වළක්වා ගැනීමට බොහෝ උපකාරී වේ. කොයිතරම් දැනුවත් කළ ද බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ ඉඩම් කුලියට බද්දට දෙනවිට තමා විසින් අවිධිමත් ගිවිසුම් මත හෝ කට වචනයෙන් කුලියට බද්දට ලබාදීමටයි. එම නිසා බදු සහ කුලී ගිවිසුම් වලට විධිමත්ව සිදු කිරීම සහ පදිංචිව සිටින තැනැත්තා ප්‍රතිරෝධයක් පෙන්වන වහාම තම හිමිකම තහවුරු කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අවවාද කටයුතුය.



Related Articles