ජනාධිපති සමාවේ නෛතික පසුබිම
ලොව බොහෝ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, ආණ්ඩුකාරවරයාට හෝ රාජ්‍යයේ රජුට යම් වරදකරුවෙකුට සමාව දීමේ බලතල පවරා ඇත. උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එහි දෙවන ව්‍යවස්ථාවේ, දෙවන වගන්තියේ සඳහන් පරිදි ෆෙඩරල් අපරාධකරුවන් සඳහා සමාව ලබාදීමට හැකි එකම තැනැත්තා වන්නේ එහි ජනාධිපතිවරයා යි. නමුත් මෙම සමාව දීම සිදු කළ යුත්තේ 'සමාව දීමේ මණ්ඩලය' නම් කමිටුවක් විසින් කරනු ලබන නිර්දේශ මතය. සෑම, ජනාධිපති සමාව සඳහා වන අයදුම්පතක්ම එරට අධිකරණ අමාත්‍යාංශය විසින් සමාලෝචනය කිරීම අනිවාර්යය වේ. වරක් සිරගත වූ අයෙකුට නැවත වරක් ජනාධිපති සමාව ලබා දීමේදී බොහෝ සීමා කිරීම් වලට යටත් වීමට සිදු වේ.
කෙසේ වුවද ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප්ගේ අවදියේ ඔහු විසින් ඔහුගේ උපදේශකයින් සහ මැතිවරණ සංවිධායකවරුන් හට ජනාධිපති සමාව ලබා දෙන ලද බවත් එම සමාව ලබාදීම පිළිබඳ ෆෙඩරල් නීති වේදීන්ගේ අප්‍රසාදය පළ කළ බවත් සඳහන් වේ.
එංගලන්තයේ රාජකීයයන් විසින් අතීතයේදී මෙම සමාව ක්‍රියාත්මක කරන ලදි. එකළ හඳුන්වන ලද්දේ රාජකීය සමාව ලෙසය. මිනී මැරුමක් සඳහා වසර 17 ක සිර දඩුවමක් විදිමින් සිටි ස්ටීව් ගාලන් නම් 47 හැවිරිදි සිරකරුවෙකු, ප්‍රජා සේවයේ යොදවා සිටිය දී, දෙදෙනෙකුට පිහියෙන් ඇන පලායමින් සිටි ත්‍රස්තවාදියෙකු අල්ලා ගැනීමට උපකාර කළ බැවින්, ඔහුට එලිසබෙත් රැජන විසින් රාජකීය සමාව ප්‍රදානය කරන ලදී. ඊට පෙර අවසන් වරට රාජකීය සමාව ලබාදෙන ලද්දේ වසර 25 කට පමණ පෙර බව කියැවේ. කෙසේ නමුත් එහිදී සම්පූර්ණ දඬුවම අහෝසි නොකරන ලද අතර මාස 10කින් පමණ සිර දඬුවම අඩු කරන ලදී. මෙම සමාව ලබාදීම පිළිබඳව ශ්රීවිසින් මිනීමැරුම සිදු කිරීම නිසා අගතියට පත් පාර්ශවයේ ද ප්‍රසාදය හිමි වී තිබුණේ ඔහු විසින් පසුකාලීනව සිදුකරන ලද වීර ක්‍රියාව නිසා ය.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ජනාධිපති සමාව ලබා දීම සඳහා බලය ලබා දෙනුයේ එහි 34 වැනි ව්‍යවස්ථාවෙනි. එය පහත පරිදි වේ.
34. (1) ශ්‍රී ලංකා ජනරජයේ කවර වූ හෝ අධිකරණයක දී වරදකරු
කරන ලද කවර වූ හෝ වරදකරුවකුට -
(අ) සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යනුකූල කොන්දේසි සහිත සමාවක් හෝ දීමට;
(ආ) නියම කරන ලද යම් දඬුවමක් ක්‍රියාත්මක කිරීම කාලසීමාවක් නොමැතිව හෝ සුදුසු යයි ජනාධිපතිවරයා කල්පනා කරන කාලසීමාවක් ඇතිව හෝ කල් තැබීමට;
(ඇ) ඒ වරදකරුට නියම කරන ලද දඬුවමක් වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට; හෝ
(ඈ) නියම කරන ලද දඬුවමක් මුළුමනින් ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමට ද, එකී වරදකරු කළ වරද හේතුකොට ගෙන ඔහුගෙන් ජනරජයට අය විය යුත්තා වූ යම්කිසි දණ්ඩනයක් මුළුමනින් ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමට ද, එකී වරදකරු කිරීම හේතුකොටගෙන ඔහුට අයත් වස්තුවක් රාජ්‍ය සන්තක විය යුත්තේ නම්, එසේ රාජ්‍ය සන්තක විය යුත්තා වූ වස්තුවෙන් කොටසක් පමණක් රජයට ගැන්වීමට හෝ ඒ වස්තුව රාජ්‍ය සන්තක කිරීම මුළුමනින්ම අත්හිටුවීමට, ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය:
එසේ වුව ද, එසේ වූ යම් වරදකරුවකුට අධිකරණයකින් මරණ දඬුවම නියම වූ විටක ජනාධිපතිවරයා විසින් ඒ නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට සැලැස්විය යුත්තේ ය. එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු විට. ඒ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් දීමෙන් පසුව නීතිපතිවරයාගේ ඒ උපදෙස් සමග එය අධිකරණ විෂයය භාර අමාත්‍යවරයා වෙත යැවිය යුතු බව නියම කොට ජනාධිපතිවරයා විසින් එය නීතිපතිවරයා වෙත යැවිය යුත්තේ ය. ඉන්පසු ඒ අමාත්‍යවරයා විසින් සිය නිර්දේශ ද සමග එම වාර්තාව ජනාධිපතිවරයා වෙත එවිය යුත්තේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 34. (1)
ඒ අනුව මෙරට ඕනෑම අධිකරණයකින් වරදකරුවකු කරන ලද ඕනෑම වැරදිකරුවෙකු වෙත නියම කරන ලද දඬුවම අහෝසි කිරීමට, අඩු කිරීමට හෝ ඒ වෙනුවට වෙනත් ලිහිල් දඬුවමක් පැනවීමට ජනාධිපතිවරයාට බලය ඇති බව පෙනී යයි. නමුත්, එම වැරදිකරු මරණ දණ්ඩනය ලබා දෙන ලද වැරැදිකරුවකු වන්නේ නම් එවැනි අවස්ථාවක, නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගේ වාර්තාවක් ද ලබාගෙන නීතිපතිවරයාගේ සහ අධිකරණ අමාත්‍ය වරයාගේ නිර්දේශිත ලබාගත යුතුය
එසේම,
- ඡන්ද බලය අහිමි කරනු ලැබූ තැනැත්තෙකු හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම සම්බන්ධයෙන් යම් නුසුදුසුකමක් සහිත තැනැත්තෙකුවේ නම් ඒ සම්බන්ධව සමාව දීමටත්,
- යම් අපරාධ නඩුවක විත්තිකරුවන් රැසක් සිටින අවස්ථාවකදී එක් විත්තිකරුවෙකු අපරාධය පිළිබඳ තොරතුරු හෙළි කිරීමෙන් රජයේ සාක්ෂිකරුවකු බවට පත්වීමට කැමැත්ත පළ කර ඇති අවස්ථාවක දී එබඳු අපරාධ සහායකයකු ට සමාව ලබා දීමටත් ජනාධිපතිවරයාට බලය පවරා ඇත
ඒ අනුව ජනාධිපති සමාව යනු මෙරට පමණක් නොව ලොව බොහෝ රටවල් වල ජනාධිපතිවරු හෝ රාජ්‍ය නායකයින් විසින් බලාත්මක කරනු ලබන බලතල ප්‍රභේදයක් බව පෙනී යයි. එය කොයි ආකාරයෙන් භාවිතා කළ යුතුද යන්න ජනාධිපතිවරයාගේ දේශපාලනික, නෛතික සහ සදාචාරාත්මක භාවිතය මත තීරණය කරනු ඇත.
