රාජ්‍ය සේවයේ නිලධාරීන් සිය බලය අභිබවා ගන්නා තීරණ පිළිබඳ නීති තත්ත්වය

රටක ව්‍යවස්ථාදායකය මගින් සම්පාදනය කරන්නා වූ නීති ක්‍රියාත්මක කරනුයේ විධායකය මගිනි. රාජ්‍ය පරිපාලන සේවය එහි එක් කොටසක් ලෙස හැඳින්විය හැකිය. පරිපාලන සේවයේ ඒ ඒ බලය පවරා ඇති නිලධාරීන් විසින් විවිධ අවස්ථාවලදී සුදුසු පරිදි තීරණ ගනු ලැබේ. ඒ ගැන තව දුරටත් විමසා බලමු.
විධායක නිලධාරීන්ට අභිමතානුසාරී බලයක් හෙවත් තමන්ගේ අභිමතය පරිදි යුක්ති සහගතව කටයුතු කිරීමට බලයක් පවරා ඇත. මෙම බලය යොදා ගනිමින් සිදු කරන ක්‍රියා රජය වෙනුවෙන් කරනු ලබන නීත්‍යානුකූල ක්‍රියා ලෙස සැලකේ.
නමුත් යම් හෙයකින් මෙවැනි ක්‍රියාවක් නිසා යමෙකුට අසාධාරණයක් හෝ අයුක්ති සහගත තත්වයක් ඇති වන්නේ නම් කවර අවස්ථාවල නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි ද?
- මතු පිටින් ම හෙවත් බැලූ බැල්මට තීරණ දෝෂ සහගත යැයි පෙනෙන විට
- බලය අතික්‍රමණය කර ඇති විට
බලය අතික්‍රමණය යනු කුමක්ද? මෙය විමසීම සඳහා පරිපාලන නීතියේ බලාතික්‍රමණ න්‍යාය නම් න්‍යායක් ක්‍රියාත්මක වේ. එහිදී බලාතික්‍රමණය පිළිබඳ පහත වර්ගීකරණය වැදගත් වේ.
- හරයාත්මක බලාතික්‍රමණය
- කාර්ය පටිපාටික බලාතික්‍රමණය
හරයාත්මක බලාතික්‍රමණය යනු නීතියට පටහැනි ලෙස පවරා ඇති බලය පිළිබඳ අවිචාරවත් ව සිදු කරනු ලබන ක්‍රියා වේ.
මීට,
- බලය නොමැතිව ක්‍රියාත්මක වීම
- බලය අභිබවා ක්‍රියාත්මක වීම
- බලය අයුතු ලෙස යෙදවීම
ඇතුළත් වේ.
යම් ආකාරයකින් ක්‍රියාත්මක වී ඇති විටදී එසේ ක්‍රියාත්මක වීමට හේතුව ඉදිරිපත් කළ නොහැකිවීම හෙවත් අහේතුකතාව ද පරිපාලනමය තීරණ අභියෝගයට ලක් කළ හැකි අවස්ථාවකි.මෙහිදී වැදගත් කරුණක් වන්නේ පරිපාලන නීතියේ දී සැලකෙන පරිදි පරිපාලන අධිකාරිය මුළුමනින්ම ලිඛිත නීතියට අනුකූලව කටයුතු කළ යුතු ය. එසේම මතුවී ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් සිය අවධානය යොමුකළ යුතු ය. එසේම අනවශ්‍ය කරුණු සැලකිල්ලට නොගත යුතු අතර අවශ්‍ය කරුණු අධ්‍යනයෙන් පමණක් තීරණ ගත යුතු ය. තවද පවරන ලද බලය වෙනත් පාර්ශවයකට පැවරීම ද නොකළ යුතුය.එසේ පැවරීමද බලාතික්‍රමණයක් ලෙස සැලකේ. එසේම බලතල භාවිතයේ දී වෙනත් බාහිර තැනැත්තන්ගේ උපදෙස් මත තීරණ ගැනීමද නොකළ යුතු බවට පිළිගැනේ.
කාර්යපටිපාටිමය බලාතික්‍රමණයේ දී සිදුවන්නේ කාර්යපටිපාටිය පිළිබඳව ව්‍යවස්ථාපිත විධිවිධාන හා කොන්දේසි උල්ලංඝනය කරමින් කටයුතු කිරීමයි. ඒ අනුව ඉහත සඳහන් කරුණු අනුව පරිපාලනමය තීරණ අභියෝගයට ලක් කළ හැකිය. ඒ සඳහා රිට් ආඥා වැනි නෛතික ප්‍රතිකර්ම යොදාගත හැකිවේ. මෙම රිට් ආඥා පිළිබඳ ඉදිරි ලිපි වලින් විමසමු.එසේම පරිපාලන කටයුතු භාර නිලධාරීන් ද පවරා ඇති බලය යුක්ති සහගතව හා නීතියට අනුකූලව භාවිතා කිරීමට සිතට ගත යුතු වේ.
