Property and LandFamily

කුලී නිවසේ රැඳී සිටීමට බිරිඳට ඇති අයිතිය!

Lexelon2 min read
Lexelon blog image

අතහැර දමන ලද බිරිඳකගේ අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කළ 'අල්විස් එදිරිව කුලතුංග' නඩුව මෙවන් අවස්ථාවක දී සලකා බැලිය හැකිය.

මෙහි සිද්ධිමය කරුණු වූයේ පැමිණිලිකාරිය ඇගේ ස්වාමිපුරුෂයා විසින් ද්වේශසහගතව හැර යන ලදුව ඔවුන් වාසය කළ කුලී නිවසේ හිමිකරු විසින් පැමිණිලිකාරිය කුලී නිවසින් නෙරපා හැරීමයි. ඒ සඳහා කුලී නිවෙස් හිමිකරු විසින් නඩුවක් පවරා තීන්දුවක් ගෙන තිබිණ.

එහිදී පැමිණිලිකාරිය එසේ නෙරපා හැරීම අත්හිටුවන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කළේ, තම ස්වාමිපුරුෂයා තමා හැර ගිය අවස්ථාවේ සිට, තමා විසින් නිසි ලෙස ගෙවල් කුලී ගෙවන ලද බව පවසමිනි. මුල් අවස්ථා අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද අතර අභියාචනයේදී පහත නෛතික කරුණු සලකා බලනු ලැබීය

ඉංග්‍රීසි නඩුවක් වන 'මිඩ්ල්ටන් එ. බොල්ඩොක්' නඩුවේ දී ඩෙනින් ස්වාමිවරයා විසින් පුරුෂයා අතහැර යන ලද බිරිඳකට ජීවත්වීමට වෙනත් ස්ථානයක් නොමැති විට කිසිම අධිකරණයකට ඇයව ඉවත් කළ නොහැකි බවත් ඇයගේ රැඳී සිටීම නීත්‍යානුකූල බවත් ප්‍රකාශ කර තිබිණ. කුලී නිවෙස් හිමියාට ඇයව ඉවත් කළ හැක්කේ ඇය කුලී නොගෙවන ලද විට පමණකි.

'බ්‍රවුන් එ. ඩ්රේපර්' නඩුවේ දී බිරිඳ විෂමාචාරී ව හැසිරෙන්නේ නම් හැර ඇයට නිවසේ රැඳී සිටීමට අයිතියක් ඇති බව පිළිගන්නා ලදී. 'වේබ් එ. ටේලර්' නඩුවේ දී එවැනි හැසිරීමක් දැක්වුව ද පුරුෂයාට බිරිඳට එරෙහි අයිතියක් තිබිය හැකි නමුත් කුලී නිවෙස් හිමියාට එවැනි අයිතියක් නොමැති බව තීරණය කරනු ලැබිණ. එයට හේතුව ඇයගේ විෂමාචාරී හැසිරීම කුලී නිවෙස් හිමියාට අදාල කාරණාවක් නොවන බැවිනි.

ඒ අනුව ඉංග්‍රීසි නීතියේ පිළිගන්නා නෛතික සිද්ධාන්ත වනුයේ,

  1. අධිකරණයකින් විවාහය විසුරුවන තෙක් වෛවාහක නිවසේ රැඳී සිටීමට බිරිඳට අයිතියක් ඇති බව ය.
  2. පුරුෂයාට බිරිඳ රැඳීසිටින තාක් කුලී නිවස හිමිකරුට භාර දීමේ හැකියාවක් නොමැත.
  3. පුරුෂයා වෙනුවට කුලිය ගෙවීම බිරිඳ විසින් ඉටු කරනු ලැබිය හැකිය.
  4. වෛවාහක වරදක් සිදු කළ පමණින් කුලී නිවෙස් හිමියාට කුලී කරුගේ බිරිඳ නෙරපීමේ හැකියාවක් නොමැත.

ඒ අනුව පොදු නීතියේ සිද්ධාන්ත යොදා ගනිමින්, ස්වාමිපුරුෂයාගේ අසාද්භාවය හේතුකොට ගෙන, තවදුරටත් බිරිඳට කුලී නිවසේ රැඳී සිටීමේ අයිතිය අධිකරණය විසින් පිළිගන්නා ලදී.

Lexelon

Lexelon

Lexelon is a legal platform that makes Sri Lankan law easy to understand for the general public and businesses.