CivilProperty and LandFinance

මුද්දර ගාස්තු යනු කුමක්ද ?

Lexelon5 min read
Lexelon blog image

යම් දේපළ පැවරීමක් හෝ ණය ගනුදෙනුවක් හෝ වෙනත් නීතියේ සඳහන් කර ඇති ගනුදෙනු වලදී රජයට ගෙවීමට යම් ගාස්තුවක් නියම කර ඇත. ඒ ගාස්තුව මුද්දර ගාස්තු ලෙස හැඳින්වෙයි. එසේ හැඳින්වීමට හේතුවක් ලෙස, එම ගාස්තු ගෙවූ බවට තහවුරු කිරීමට, අදාල සාධන පත්‍ර වල මුද්දර ගාස්තුවේ වටිනාකමට සරිලන මුද්දර ඇලවීමේ ක්‍රමවේදයක් තිබීම හැඳින්විය හැකිය. මෙය මුද්දර බද්ද ලෙස ද හඳුන්වයි.

2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ මුද්දර ගාස්තු ගෙවිය යුතු ලියවිලි සහ අවස්ථා ගැන දක්වා ඇත. ඒ අතර දිවුරුම් පෙත්සමක්, රක්ෂණ ඔප්පුවක්, ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු වශයෙන් කටයුතු කිරිමේ අධිකාරී පත්‍රයක්, පොරොන්දු නෝට්ටුවක් ආදි වශයෙන් වෙයි. ඉඩම් සම්බන්ධ බොහෝ මුද්දර ගාස්තු පළාත් සභා විසින් පාලනය කරනු ලබයි. ස්වර්ණ භුමි සඳහා මුද්දර ගාස්තු ගණනය කරන ආකාරය වෙනස් වන්නේ නැත.

මුද්දර ගාස්තු ගණනය කරගන්නේ කෙසේද?

සමහර මුද්දර ගාස්තු ලෙස නිශ්චිත අගයක් නියම කර ඇති අතර සමහර මුද්දර ගාස්තු අදාළ ගනුදෙනුවේ හෝ බලපත්‍රයේ වටිනාකමින් ප්‍රතිශතයක් ලෙස ගෙවිය යුතුය. එවැනි ඔප්පු සහ බලපත්‍ර සඳහා මුද්දර ගාස්තු ගණනය කරන ආකාරය එකිනෙකින් වෙනස් වේ. ඒ අතරින් නිශ්චල දේපළ සඳහා වන විකුණුම් ඔප්පු සහ තෑගි ඔප්පු සඳහා මුද්දර ගාස්තු ගෙවීමේ ක්‍රියාවලිය බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇත.

විකුණුම් ඔප්පු සඳහා මුද්දර ගාස්තු ගණනය කරන ආකාරය:

ඉඩම විකුණන වටිනාකමින් පළමුවැනි රුපියල් ලක්ෂයට  3% ක් මුද්දර ගාස්තු ගෙවිය යුතු අතර වටිනාකමින් ඉතිරි මුදල් ප්‍රමාණයට 4% ක් මුද්දර ගාස්තුව ලෙස ගෙවීමට සිදුවේ.

ඒ අනුව, රුපියල් මිලියනයක් වටිනා ඉඩමක් ගැන සිතමු. (රු1,000,000.00)

ඉඩම විකුණන මිල = 1,000,000
පියවර 1 : පළමු ලක්ෂයට මුද්දර ගාස්තුව 
100,000 x 3% = 3000
පියවර 2 : ඉතිරි මුදල
1,000,000.00 - 100,000 = 900,000
පියවර 3 : ඉතිරි මුදලට මුද්දර ගාස්තුව
900,000x 4% = 36,000

ගෙවිය යුතු මුළු මුද්දර ගාස්තුව 
3,000+36,000 = රු39,000.00

ලෙක්සිලෝන් මුද්දර ගාස්තු ගණකයෙන් අගය නිවැරදි ද බලන්න.

තෑගි ඔප්පු සඳහා මුද්දර ගාස්තු ගණනය කරන ආකාරය:

ඉඩමේ නිශ්චය කළ වටිනාකමින් පළමුවැනි රුපියල් පනස්දහසට  3% ක් මුද්දර ගාස්තු ගෙවිය යුතු අතර වටිනාකමින් ඉතිරි අගයට ගෙවිය යුතු වන්නේ 2% ක් පමණි.

ඒ අනුව, රුපියල් මිලියනයක් වටිනා ඉඩමක් ගැන සිතමු. ( රු1,000,000.00)

ඉඩම විකුණන මිල = 1,000,000
පියවර 1 : පළමු රු50,000 මුද්දර ගාස්තුව 
50,000 x 3% = 1,500
පියවර 2 : ඉතිරි මුදල
1,000,000 - 50,000 = 950,000
ඉතිරි මුදලට මුද්දර ගාස්තුව
950,000 x 2% = 19,000.

ගෙවිය යුතු මුළු මුද්දර ගාස්තුව 
1,500+19,000 = රු20,500.00

ලෙක්සිලොන් මුද්දර ගාස්තු ගණකයෙන් අගය නිවැරදි ද බලන්න.

ඒ අනුව ඉඩමේ වටිනාකම සමාන වුවද තෑගි ඔප්පු සඳහා ගෙවිය යුතු වන්නේ විකුණුම් ඔප්පුවකට වඩා අඩු මුද්දර ගාස්තුවක් බව පෙනේ.

තෑගි ඔප්පුවකට ඉඩමක වටිනාකම තීරණය කරන්නේ කොහොමද?

තෑගි ඔප්පුවක් ලිවීමේදී මුදල් ගනුදෙනුවක් සිදු නොවේ. එසේ වුවද ඉඩමට අදාළව ඔප්පුවේ වටිනාකමක් සඳහන් කිරීමට සිදුවේ. සමහරුන් මුද්දර ගාස්තු අඩුවෙන් ගෙවීම සඳහා ඉඩමේ වටිනාකම සිතා මතාම ඉතා අඩුවෙන් සඳහන් කරයි. මේ නිසා පළාත් පාලන ආයතනවල බදු ආදායම අඩුවේ. මෙය වළක්වා ගැනීම සඳහා ඉඩමේ වටිනාකම නිශ්චය කර ගැනීමට ඉඩම පිහිටි පළාතේ පළාත් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මතය ලබා ගැනීම සිදු කළ යුතුවේ. එසේ නොකර අඩු වටිනාකමක් යොදා මුද්දර ගාස්තු අඩුවෙන් ගෙවන ලද විට, ඒ පිළිබඳ කරුණු විමසා සෑහීමකට පත් විය හැකි පැහැදිලිකිරීමක් නොලැබුණහොත් දඩ නියම කරනු ලැබේ.

උකස් ඔප්පු සඳහා මුද්දර ගාස්තු ගණනය කරන ආකාරය

උකස් ඔප්පු සඳහා සෑම රුපියල් දහසකටම රුපියලක් (1/1000) ලෙස මුද්දර ගාස්තු ගෙවිය යුතුවේ. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 0.1% ක් වේ.

ඒ අනුව, ඉඩම රුපියල් මිලියනයකට උකස් කරන ලද්දේ නම්, ගෙවිය යුතු මුද්දර ගාස්තුව ගණනය කරමු.

ඉඩම උකස් කරන මිල = 1,000,000
මුද්දර ගාස්තුව = 1,000,000 x 0.1% = රු1,000.00

තවත් ආකාරයක්,
ඉඩම උකස් කරන මිල = රු1,000,000
මුද්දර ගාස්තුව = 1,000,000 x (1/1000)= රු1,000.00

නිවාස බදු හා කුලියට දීම සඳහා වන ඔප්පුවකට අදාළ මුද්දර ගාස්තු ගණනය කරන ආකාරය

මෙහිදී සෑම රුපියල් දහසකටම රුපියල් විස්සක් ලෙස මුද්දර ගාස්තු ගෙවිය යුතුය. එනම් 20/1000 හෙවත් 2%වේ. මෙහිදී බදු හෝ කුලී වටිනාකම ගණනය කරනු ලබන්නේ බදු හෝ කුලියට දෙන මුළු කාලයට අය කරනු ලබන වටිනාකම ලෙසය. මාසික කුලිය රු5000.00 ට අඩු නම් මුද්දර ගාස්තු ගෙවිය යුතු නොවේ.

මසකට 10,000 බැගින් වසර දෙකක් කුලියට ලබා දෙන්නේ නම්,

පියවර 1 : කුලී ඔප්පුවේ වටිනාකම,
10,000 x මාස 24 = රු240,000.00 ක් වේ.

පියවර 2 : මුද්දර ගාස්තුව 
240,000 x 2% = රු4,800.00

පොරොන්දු නෝට්ටුවක් මගින් සිදුකරන මුදල් ගනුදෙනු සඳහා මුද්දර ගාස්තු ගණනය කරන ආකාරය

ප්‍රොමිසරි නෝට්ටුවක් හෙවත් පොරොන්දු නෝට්ටුවක් සඳහා මුද්දර ගාස්තුව සෑම රුපියල් දහසකට හෝ එහි කොටසකට රුපියලක් ලෙස වේ. එනම් 0.1% කි.

ඒ අනුව, රුපියල් මිලියනයක පොරොන්දු නෝට්ටුවක් සඳහා, ගෙවිය යුතු මුද්දර ගාස්තුව ගණනය කරමු.

ප්‍රොමිසරි නෝට්ටුවේ අගය  = 1,000,000
මුද්දර ගාස්තුව = 1,000,000 x 0.1% = රු1,000.00

නිසි පරිදි මුද්දර ගාස්තු නොගෙවන ලද පොරොන්දු නෝට්ටු බලාත්මක කරගැනීමේ දුෂ්කරතා ඇතිවිය හැකිය. පොරොන්දු නෝට්ටු හෙවත් ප්‍රොමිසරි නෝට්ටු ගැන වැඩිදුර විස්තර දැනගන්න. කියවන්න

මුද්දර ගාස්තු ගෙවීමට විශේෂිත මුද්දර ඇලවීම මගින් මුද්දර ගාස්තු ගෙවනු ලැබේ. එසේ ඇලවූ මුද්දර නැවත වෙනත් සාදන පත්‍ර වල ඇලවීම වළක්වනු පිණිස එකී මුද්දර සිදුරු කිරීමෙන් අවලංගු කරනු ලැබේ. වර්තමානයේ විශාල මුදල් ප්‍රමාණ වල මුද්දර ගාස්තු ගෙවීම ලංකා බැංකුවේ දේශීය ආදායම් බදු කොමසාරිස්ගේ ගිණුමට මුදල් බැර කිරීමෙන් සිදුකළ හැකිවේ. ඒ සඳහා විවිධ පළාත් වලට අනන්‍ය වූ රිසිට් පත්‍ර ඇති අතර නියමිත පරිදි එම රිසිට් පත්‍ර ලබාගෙන මුද්දර ගාස්තු ගෙවීම සිදු කළ යුතු වේ.

කිසියම් නිශ්චල දේපලක් උකසකට හෝ බද්දට අදාළ ඔප්පුවකට ගෙවිය යුතු මුද්දර ගාස්තු, ලංකා බැංකුවේ - තැප්‍රොබේන් ශාඛාවේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ අංක 7041555 දරන බැංකු ගිණුමට බැර කළ යුතුය. බැංකුව විසින් ගෙවීමක් සඳහා සහතිකයක් නිකුත් කළ යුතු අතර, සහතිකය ඔප්පුවට ඇලවිය යුතුය.

එකවර බොහෝ දෙනෙකුගේ  මුද්දර ගාස්තු ගෙවීම් ලංකා බැංකුවේ - තැප්‍රොබේන් ශාඛාවේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ අංක 4153842 දරන මුද්දර ගාස්තු ගිණුමට බැර කළ යුතුය.

මුද්දර ගාස්තුව ගෙවිය යුත්තේ කවුරුන් ද යන්න පිළිබඳව පාර්ශවයන් අතර ගැටළු ඇතිවිය හැකි අතර ඉඩම් විකිණීමක් සම්බන්ධව නම් ගැනුම්කරු විසින් මුද්දර ගාස්තු ගෙවනු ලබන අතර, අනෙක් මුද්දර ගාස්තු අදාළ ප්‍රතිලාභය ලබන තැනැත්තා විසින් ගෙවනු ලැබිය යුතුය. එනම් ඉඩම් උකස්කරන විට ඉඩම් හිමියා ද නිවසක්/ ගොඩනැගිල්ලක් කුළියට ගන්න විට එසේ කුළියට ගන්නා තැනැත්තා ද යන ආකාරයෙන් ය. මුද්දර ගාස්තු නොගෙවීම හෝ අඩුවෙන් ගෙවීම රජයට ගෙවිය යුතු බදු පැහැර හැරීමකි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔබ හඹා විත් නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.  

Related Articles