PoliceGovernance

පොලිස් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සහ අත්අඩංගුවේ පසුවන විට ඔබත් වධහිංසාවකට ලක්වී තිබේද?

Lexelon3 min read
Lexelon blog image

ඕනෑම කෙනෙක් විවිධ හේතූන් මත පොලිස් අත්අඩංගුවට පත්විය හැකිය. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 4 වන පරිච්ඡේදයේ ‘අත්අඩංගුවට ගැනීම’ පිළිබඳ ප්‍රතිපාදන දක්වා ඇත. ඒ ගැන තව දුරටත් විමසා බලමු.

ඊට අනුව කෙනෙකු අත්අඩංගුවට ගනු ලබන විට ඒ තැනැත්තා වචනයෙන් හා හෝ ක්‍රියාවෙන් ඊට අවනත නොවුණහොත් ශරීරයෙන් අල්ලා රඳවා තබාගත යුතුයි. ඒ අවස්ථාවේ අත් අඩංගුවට ගැනීමට හේතුව සහ ඔහුට විරුද්ධව ඇති චෝදනාව ඔහුට දැනුම් දිය යුතුයි. සිරභාරයට ගැනීමේ දී ඊට විරුද්ධත්වය පෑවොත් හෝ අත් අඩංගුවට ගැනීමෙන් මග හැරීමට තැත් කළහොත් සාධාරණ ලෙස අවශ්‍ය උපක්‍රම යෙදිය හැකියි. මෙහි දැක්වෙන්නේ අවම බලය භාවිතා කිරීම පිළිබඳව වන අතර කැමැත්තෙන් පොලිස් අත්අඩංගුවට පත්වන්නෙකු තලාපෙලා වධ දීමට පොලීසියට බලයක් නැත.

මීට අමතරව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද යමෙක් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ආරක්ෂා කළ යුතු අයිතිවාසිකම් පිළිබඳව දක්වා ඇත.එහි එකොළොස් (11) වන ව්‍යවස්ථාවට අනුව කිසිදු තැනැත්තකු අමානුෂික හා කෲර වධ බන්ධනයකට ලක් නොවිය යුතුය. දහතුන්වන (13) වන ව්‍යවස්ථාවට අනුව කිසිදු තැනැත්තෙකු නීතියෙන් දක්වා ඇති පිළිවෙළට එරෙහිව අත්අඩංගුවට ගැනීමෙන් වැළකිය යුතු අතර අත්අඩංගුවට ගැනීමේ හේතුව එකී තැනැත්තාට දැනුම් දිය යුතුවේ. එකී කාර්යපටිපාටියට අනුකූල නොවන ලෙස යමෙකු අත්අඩංගුවට ගැනුණේ නම් මූලික අයිතිවාසිකම් නඩුවකින් සහනයක් සලසා ගැනීමට නෛතිකව අවස්ථාවක් තිබේ.

මීට අමතරව 1994 වද දීම හා අනෙකුත් කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම් වලට එරෙහි වූ සම්මුති පනත යටතේ වධකයින්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් තිබේ. මෙම පනත යටතේ ප්‍රතිපාදන සපයා ඇත්තේ පොලිසිය වැනි අධිකාරීන්ට එරෙහිව පමණක් නොවන අතර සාමාන්‍ය තැනැත්තන්ට එරෙහිවද ක්‍රියා කිරීමේ හැකියාවක් පවතියි. ඊට අනුව යම්කිසිවෙකු එකී පනත යටතේ වන වරදකට මහාධිකරණයක් මගින් වරදකරුවකු කරනු ලැබුවහොත්, වසර හතකට නොඅඩු සහ දහයකට නොවැඩි සිර දඬුවමකින්ද, රුපියල් පනස්දහසකට නොවැඩි සහ රුපියල් දසදහසකට නොඅඩු දඩ මුදලකින්ද දඬුවම් කරනු ඇත.

යමෙකු පොලිසිය මගින් නීතියට පටහැනිව කෲර වධ හිංසාවට ලක් වුණි නම් එයට සහනයක් ලබාගැනීම සඳහා නීතිඥවරයෙකුගේ උපදෙස් ලබාගෙන වධකයින් ට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් ඇති බව සිහිතබා ගත යුතුය. මෙවැනි අවස්ථාවල දී පිහිට වීමට මානව හිමිකම් කොමිෂන් සභාව ද සැදී පැහැදී සිටියි

Related Articles