තුවාල සිදුකිරීම

මෙරට බහුලවම සිදුවන අපරාධ වරදක් වුවද තුවාල කිරීම පිළිබඳ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව සතුව ඇත්තේ අවම දැනුමකි. එම නිසා තුවාල කිරීම සම්බන්ධව සරලව විමසා බලමු.
තුවාල කිරීම යනු කුමක්ද? මේ සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ දක්වා ඇති අර්ථ නිරූපණය වන්නේ, යම් තැනැත්තකුට,
- කායික වේදනාවක්
- රෝගයක්
- දුර්වලතාවයක්
සිදු කිරීම තුවාල කිරීමක් වශයෙන් හැඳින්විය හැකි බවයි.
තුවාල කිරීම මූලික වශයෙන් දෙයාකාර වේ. එනම් තුවාල කිරීම සහ බරපතළ තුවාල කිරීම වේ. දණ්ඩ නීති සංග්‍රහයට අනුව තුවාල කිරීම යන වරදේ මනස හා සම්බන්ධ කොටස (මානසික අංගය) ලෙස 'කැමැත්තෙන් තුවාල සිදු කිරීම' යන්න සඳහන් වේ.
ඊට අනුව,"යම් තැනැත්තකුට තුවාල කිරීමේ අදහසින්, හෝ තුවාල සිදු විය හැකිය යන දැනුම ඇතිව "යම් ක්‍රියාවක් මගින් තුවාල සිදුකිරීම, කැමැත්තෙන් තුවාල සිදු කිරීම ලෙස සැලකිය හැකිය.
යම් හෙයකින් තුවාල සිදු කිරීමකින් බරපතළ තුවාල සිදු කිරීම වෙන් කර හඳුනා ගන්නේ කෙසේද?
- අපෞරුෂායනය - ( පුර්ෂ ලිංගයට හානි කිරීම, දුර්වල කිරීම, වෙන් කිරීම ආදිය)
- දෑසින් එක් ඇසක හෝ පෙනීම සදහටම නැති කිරීම හෝ දුර්වල කිරීම.
- දෙකණින් එක් කණක හෝ ඇසීම සදහටම නැති කිරීම හෝ දුර්වල කිරීම.
- යම් අවයවයක හෝ සන්ධියක ක්‍රියාකාරීත්වය නැති කිරීම.
- යම් අවයවයක හෝ සන්ධියක ශක්තිය විනාශ කිරීම හෝ සදහටම දුර්වල කිරීම.
- හිස හෝ මුහුණ සදහටම විරූප කිරීම
- අස්ථීයක් කාටිලේජයක් හෝ දතක් කැපීම හෝ භංග කිරීම හෝ අස්ථියක් සන්ධියක් හෝ දතක් අවසන්ධි කිරීම.
- ජීවිතයට අන්තරායකාරී වන යම් තුවාලයක් හෝ යම් තුවාලයක ප්‍රතිඵලයක් වශයෙන් උරස්, උදර හෝ කපාල කුහර විවෘත කිරීමට සිදුවන ශල්‍යකර්මයක් සිදු කරනු ලැබීමට සිදුවීම
- යම් තුවාලයක් හේතුකොටගෙන හෝ, යම් තුවාලයක් නිසා කලයුතු ශල්‍යකර්මයක් හේතුකොටගෙන දින 20 ක කාලයක් තදබල ශාරීරික වේදනා විඳීමට සිදු කෙරෙන තමාගේ එදිනෙදා කටයුතුවල නිරතවීමට නොහැකි වන අන්දමේ තුවාලයක්,
'පමණක්' බරපතළ තුවාල කිරීම් ඝණයට වැටේ.
ඒ අනුව ඕනෑම තුවාලයක් බරපතළ තුවාල කිරීමක් ලෙස නොසැලකෙන අතර මේ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා සහ විශේෂඥ සාක්ෂි ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.
මීට අමතරව තුවාල කිරීම යන වරදේ බරපතළ ස්වභාවය විවිධ මට්ටම් අනුව සලකනු ලබන අතර එහිදී,
- අන්තරාදායක ආයුධ වලින් හෝ ක්‍රමවලින් තුවාල සිදු කිරීම. ( පිහි වර්ග, විෂ වර්ග සහ ඇසිඩ් වර්ග අන්තර්ගත වේ)
- දේපල බලෙන් පැහැර ගැනීම සඳහා හෝ නීති විරෝධී ක්‍රියාවක් බලෙන් කරවීම සඳහා තුවාල සිදු කිරීම.
- වරද කියා පෑම බලෙන් කරවීමට තුවාල සිදු කිරීම
- හදිසි ප්‍රකෝප කිරීමක් නිසා තුවාල සිදු කිරීම
ඉහත තත්ත්වයන් මත බරපතළ තුවාල සිදු කිරීම.
මේ සඳහා උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය.
ඒ අනුව, යම් තුවාල කිරීමේ වරදක් යමෙකු විසින් සිදුකර ඇති විට ඉහත කුමන හෝ කාණ්ඩයකට අයත් වීම අනුව දඬුවමේ ස්වභාවය වෙනස්වීමට ඉඩ ඇත.
එමනිසා තුවාල කිරීම සම්බන්ධ වරදකට යම් අවස්ථාවකදී මුහුණදීමට සිදුවුවහොත් ඉහත සඳහන් පරිදි ඒ සම්බන්ධ නීති තත්ත්වය ගැන දැනගෙන සිටීම ප්‍රයෝජනවත් වේ.